සූදුකාරයන්ගේ ක්‍රීඩාවක් – සභාපති

වත්මන් එල්ලේ ක්‍රීඩාව සූදුකාරයන් අතට පත්ව තිබෙන බැවින් නාමයෝජනා නැවත ඉදිරිපත් කර සිටියත් ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සභාපතිධුරයේ කටයුතු කිරීම ගැන නැවැත සිතා බැලීමට සිදුව ඇතැයි එහි වත්මන් සභාපති හිටපු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා පවසයි.

එල්ලේ සම්මේලනයේ නිලවරණය පසුගිය මැයි 27 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණත් විගණන වාර්තා අනුමැතිය පමාව නිසා එය මේ වනවිට දින නියමයක් නැතිව කල් දමා තිබේ. එල්ලේ සම්මේලනයේ නිලවරණය පමාව ගැන සරත් කුමාර ගුණරත්න මහතා මෙසේද පැවසීය.

“ක්‍රීඩා අමාත්‍යාංශය එක එක වෙලාවට එක එක කතා කියනවා. එල්ලේ සම්මේලනයේ පසුගිය වසර ගණනාවක් ගිණුම් වාර්තා විගණනය වෙලා නෑ. අපේ නිල කාලයේ විගණන වාර්තා අපි බාරදුන්නා. ඒකෙ අනුමැතිය පමාවට අපට වගකීමක් ගන්න බෑ’.

“එල්ලේ ක්‍රීඩාව අද සුදුකාරයන්ට ගිහිල්ලා. තැන තැන එල්ලේ තරගාවලි සමහරු ලෑස්ති කරනවා. විනිසුරුවන් තමුන්ම පත් කර ගන්නවා. ඊළඟට එතනට සූදුකාරයෝ එකතු වෙලා එතන වෙන ව්‍යාපාරයක් ගෙනියනවා. ඒ නිසා මා නාමයෝජනා බාරදුන්නත් නැවත එල්ලේ සභාපති ධුරය බාර ගන්නවාද කියලා තාමත් හිතමින් ඉන්නවා” යයිද සරත් කුමාර ගුණරත්න මහතා පැවසීය.

මේ අතර මෙවර එල්ලේ නිලවරණය කැඳවා තිබියදී ප්‍රතිපාර්ශවයකින් එල්ලේ සම්මේලනය වත්මන් පාලනයට චෝදනා ගණනාවක් එල්ලකර තිබේ.

 ඒ එල්ලේ සම්මේලනය ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සාමාජිකයන් 23ක් වන විධායක සභාවේ එම සාමාජිකත්වය 27ක් දක්වා ඉහළ නැංවීම, පැවැත්වීමට නියමිත නිලවරණයෙන් ක්‍රීඩා සමාජ 27ක් ඉවත්කිරීම, නවක ක්‍රීඩා සමාජ 38ක්  අනුමැතියකින් තොරව එල්ලේ සම්මේලනයට ඇතුළත් කර ගැනීම විගණන වාර්තාව සම්බන්ධයෙන් පැන නැගී තිබෙන ගැටළු ඒ අතර ප්‍රධාන වෙති. කෙසේ වුවත් මෙවර එල්ලේ නිලවරණයෙන් ක්‍රීඩා සමාජ ගණනාවක් ඉවත්කිරීමට එරෙහිව ක්‍රීඩා අමාත්‍යාංශයට යොමු කළ විරෝධතාවයක් විභාගයට ගැනීමකින් තොරව ඉවත දැමු බව වාර්තාවේ. ඊට හේතුවී ඇත්තේ විරෝධතාවය ඉදිරිපත් කළ පාර්ශවය පැමිණිලිකාර පාර්ශවය ලෙස පිළිගැනීම ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රතික්‍ෂේප කිරීමය.

එළඹෙන එල්ලේ නිලවරණයේදි (2019-21) සභාපති ධුරයට පළාත් සභා මන්ත්‍රිවරයෙකු වන සනත් ප්‍රදීප් මහතාද,  නාමයෝජනා බාරදීමේ සෙසු තනතුරු සඳහා වත්මන් නිලධාරීන් ගණනාවක් ඇතුළුව ක්‍රීඩා සමාජ නියෝජිතයන් රැසක්ද නාමයෝජනා ඉදිරිපත් කර තිබේ.

 ක්‍රීඩා සමාජ 156ක් මෙවර නිලවරණයේදී ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා සිටිති.

 

ශ්‍රී ලංකාව ‘ඩී’ කාණ්ඩයට

කණ්ඩායම් 16 ක් තරග වදින ලබන වසරේ අයි.සී.සී. අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගමාලාවේ තරග කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් සභාව පසුගියදා ප්‍රකාශයට පත්කෙරිණ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් 11 වැනි වරටත් පැවැත්වෙන මේ තරගමාලාවට කාණ්ඩ 4 ක් යටතේ කණ්ඩායම් 16 එක්වී සිටිති.

සුදුසුකම් ලැබීමේ තරගවලින් පසුව එක්වූ කෙන්යාව, පැපුවා නිව්ගිනියාව, කැනඩාව, ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තයත් මෙම කණ්ඩායම් 16 අතර සිටිති. ටෙස්ට් වරම් හිමි රටවලටත්, අවසන් වරට 2016 පැවැති තරගමාලාවේදී ටෙස්ට් තත්ත්වය නොලද හොඳම අර්ධ සාමාජික රට බවට පත්වූ නැමීබියාවටත් 2018 තරගමාලාවට සුදුසුකම් ලැබුණේ ඉබේටමය. ශ්‍රී ලංකාව ඇතුළත් වී සිටින ‘ඩී’ කාණ්ඩයට පාකිස්තානය, ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තයත් ඇතුළත්ව ඇත.

වත්මන් ශූරයන් වන වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ සත්කාරක නවසීලන්තය අතර ලබන වසරේ ජනවාරි මස 13 වැනිදා ටවුරංගා හී බේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයෙන් ආරම්භ වන තරගාවලිය පෙබරවාරි 3 වැනිදා දක්වා පැවැත්වේ. අවසන් මහා තරගයත් පැවැත්වෙනු ඇත්තේ ද බේ ඕවල් ක්‍රීඩාංගණයේදීමය.

මූලික වටයේදී ලීග් ක්‍රමයට තරග පැවැත්වෙන අතර එක් එක් කාණ්ඩවල හොඳම කණ්ඩායම් දෙක බැගින් තෝරා සුපිරි 8 දෙනාගේ ලීග් තරග වටය පවත්වනු ලැබේ. සෙසු කණ්ඩායම් පළඟ ශූරතාවලියට තරග කරති. සුපර් ලීග් තරග වටයේ අවසන් පූර්ව තරග ජනවාරි 29 සහ 30 දෙදින පැවැත්වීමට නියමිතව ඇත්තේ ක්‍රයිස්චර්ච් හී හැග්ලි ඕවල් පිටියේදීය.

වත්මන් ශූරයන් වන කොදෙව් පිල, සත්කාරක නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ අප්‍රිකාවෙන් සුදුසුකම් ලැබූ කෙන්යාව මෙවර තරගමාලාවේ දී ‘ඒ‘ කාණ්ඩයට ඇතුළත් වී සිටිති. 2016 වසරේදී අනුශූරතාව සමග මීට පෙර 19න් පහළ ලෝක ක්‍රිකට් කිරුළ තුන්වතාවක්ම ජයගත් ඉන්දියාව සමග ඕස්ට්‍රේලියාව, සිම්බාබ්වේ සහ පැපුවා නිව්ගිනියාව ‘බී‘ කාණ්ඩයෙන් එක්වී සිටිති. ඕස්ට්‍රේලියාව මෙවර තරගමාලාවට එක්වී සිටින්නේ 2014න් පසුවය. ආරක්ෂක තත්ත්වය අඩුබව කියමින් ඔවුන් බංග්ලාදේශයේ පැවැති පසුගිය තරගමාලාවට සහභාගි වූයේ නැත.

පසුගිය තරගමාලාවේ අවසන් පූර්ව වටයට ගිය බංග්ලාදේශය සමග එංගලන්තය, නැමීබියාව සහ කැනඩාව ‘සී‘ කාණ්ඩයෙන් ද, යොවුන් ලෝක කුසලානය දෙවතාවක් ජයගත් පාකිස්තානය, පසුගිය තරගමාලාවේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව, මෑතකදී ටෙස්ට් වරම් ලැබූ ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය ‘ඩී‘ කාණ්ඩයෙන් ද මෙවර තරගමාලාවට එක්වී සිටිති.

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාව ක්‍රයිස්චර්ච්, ටවුරංගා, වංගරායි සහ ක්වීන්ස්ටවුන් නගර හතරේ දී දින 22ක් පුරා පැවැත්වෙයි. නවසීලන්තය මේ තරගමාලාවට සත්කාරකත්වය ලබා දෙන්නේ තුන්වැනි වරටය. ඊට පෙර ඔවුන් 2002 සහ 2010 තරගමාලා සඳහා සත්කාරකත්වය ලබා දුන්නේය.

 


ශ්‍රී ලංකාව සහභාගි වන මූලික වටයේ තරග

ජනවාරි 14 – අයර්ලන්තයට එරෙහිව වංගරායිහිදි,
ජනවාරි 17 ඇෆ්ගනිස්තානයට එරෙහිව වංගරායිහිදී,
ජනවාරි 19 – පාකිස්තානයට එරෙහිව වංගාරායිහිදි.

 

- 077

දඹුල්ලට නව විදුලි බුබුළු 48 ක්

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉරිදා (20) පැවැත්වෙන දිවා/රාත්‍රී එක්දින තරගය වෙනුවෙන් තාවකාලික විදුලි බුබුළු 48 ක් සවිකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

මෙම විදුලි බුබුළු විදුලි කණු හතරක තාවකාලික ආධාරකයක් ඔස්සේ විදුලි බුබුළු 12 ක් බැගින් සවිකර තිබේ.
රූපවාහිනී රූපරාමු වඩාත් හොදින් ලබාදීම සඳහා මෙම තාවකාලික විදුලි බුබුළු සවිකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසීය.

“විදුලි ආලෝකය මධ්‍යයේ තරගය පැවැත්වෙන විට හතරේ සීමාව අසළ ක්‍රීඩකයන් පැහැදිළිව දර්ශනය නොවන බව පැවසුවා ඒ නිසා අපි අඳුර සහ හෙවනැල්ල මග හරින්න තමයි මේ ලයිට් සවි කළේ නැතුව ප්‍රධාන විදුලි කුළුණුවල කිසි ප්‍රශ්නයක් නෑ” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

 

ළාබාලතම ජාතික ශූරයා දොළුවීර

කොළඹ රාජකීය විද්‍යාලයේ  මිනුල්  දොලුවීර  2017 වසරේ ජාතික  චෙස් ශූරයා  ලෙසද  අම්බලන්ගොඩ  ධර්මාශෝක විද්‍යාලයේ  සයුනි ගිහන්සා ජයවීර ජාතික චෙස් ශූරිය ලෙසද සම්මාන දිනාගත්හ.

කොළඹ රාජකීය  විද්‍යාලයේ  පැවති  ජාතික  චෙස්   ශූරතාවලියේදී  මිනුල්  දොළුවීර  විවෘත පිරිමි  අංශයේ  ශූරතාව දිනාගත්තේය. සයුනි ගිහන්සා  ජයවීර  විවෘත කාන්තා  අංශයේ  ශූරතාව  දිනාගත්තාය.

ලංකාවේ  තෝරාගත්  දක්ෂතම  චෙස්  ක්‍රීඩකයින්  14 දෙනා  අතර  සහ දක්ෂතම  චෙස්  ක්‍රීඩිකාවන්  14 දෙනා  අතර  මෙම තරගාවලිය  පැවැත්විණ.

පිරිමි  තරගාවලිය පුරාම ඉදිරියෙන්ම සිටි  මිනුල්  දොළුවිර  තරගවට  13 න් තරගවට  6ක්  පමණ  නිමවන විටදී  මේ වසරේ  තමා ජාතික චෙස් ශූරයා ලෙසට ඉඟි කළේ කොළඹ  රාජකීය විද්‍යාලයෙන්  බිහිවන තෙවන  ජාතික  චෙස් ශූරයා  වෙමිනි. ගිය වසරේ (2016) පැවති  අධ්‍යාපන පොදු  සහතික  පත්‍ර සාමාන්‍ය පෙළ  විභාගයේදී ‘ඒ ’ සාමාර්ථ  9 ක් ලබාගන්මින් ඉගෙනීමට දස්කම් දක්වන දොළුවිර තරගාවලිය  නිමාවනවිටදී  තරගාවලියේ  අනුශූරයාවූ කොළඹ  විශ්වවිද්‍යාලයේ උදිත්  ජයසුන්දරට  වඩා ලකුණු  1.5 ක  පරතරයක්  තබාගනිමින්  පිරිමි  තරගාවලියේ ශූරතාව දිනාගත්තේ මෙතෙක් බිහිවූ ලාබාලතම ජාතික  චෙස්  ශූරයා  ලෙස  අභිෂේක  ලබමිනි.

මේ තරගාවලිය  පුරාම  ඉදිරියෙන්  සිටි දොළුවීරට  හදිසි අකරතැබ්බයකට මුහුණදීමටද  සිදුවිය. ඒ  තමා  අපේක්ෂා නොකළ අවස්ථාවක තමාගේ ජයට අභියෝගයක්  නොවුනද   සංදීප් දසනායකට  පමණක්  පරාජය වීමය. තරග වට 13 න්  ලකුණු  9.5 ක්  ලබාගත්  දොලුවීරට තරගාවලියේ  ශුරතාව  හිමිවෙද්දී ඔහුට  වඩා  ලකුණු  1.5 ක්  පිටුපසින් සිටි තරග වට 13න් ලකුණු  8 ක්  ලබාගත්  උදිත්  ජයසුන්දරට  තරගාවලියේ  අනුශූරතාව හිමිවිය.

තරග වට 13න්  ලකණු 7.5 බැගින්  ලබාගත්  අම්බලන්ගොඩ  ධර්මාශෝක  විද්‍යාලයේ  එම්.සසිත්  නිපුන්  පියුමන්ත, ප්‍රසන්න කුලසුරිය, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ හර්ෂණ  තිලකරත්න, ඉසුරු  අලහකෝන්  යන ක්‍රීඩකයන් සිව්දෙනා  සම තෙවැනි  ස්ථානයට  පත්වුවද  චෙස්  ක්‍රීඩාවේ අවසාන ගණනයට අනුව එම් .සසිත් නිපුන්  පියුමන්තට තෙවැනි  ස්ථානයත්, ප්‍රසන්න කුලසුරියට සිව් වැනි ස්ථානයත්, හර්ෂණ තිලකරත්නට  පස් වැනි ස්ථානයත්  ඉසුරු  අලහකෝන්ට  හය වැනි ස්ථානයත්  හිමිවිය.

කාන්තා තරගය  අතිශය තියුණු මුහුණුවරක් ගත්තේය. ඒ මෙවර  ජාතික  ශූරිය වූ අම්බලන්ගොඩ  ධර්මාශෝක විද්‍යාලයේ සයුනි  ගිහන්සා  ජයවීර හා මීට  පෙර  පිටපිටම  දෙවරක්ම  ජාතික ශූරියවූ  කොළඹ විශාඛා  විද්‍යාලයේ  දසුනි  හංසිකා  මෙන්ඩිස්  තමන්  මුහුණදුන්  තරගවට  13 න් ලකුණු 10 බැගින්  ලබාගෙන  සමශූරියෝ වුහ.  එහෙත්  සයුනි ගිහන්සා ජයවීර විසින්  එක් තරග වටයකදී  දසුනි හංසිකා  මෙන්ඩිස්  පරාජය  කිරීම  හේතුවෙන් ඔවුන් දෙදෙනා සම ලකුණු ලැබුවද  සයුනිට ශූරතාවත් දසුනිට  අනුශූරතාවත්  හිමිවුහ.

කාන්තා තරගාවලියේදී අවසන් තරගවටය වන 13 න් වන  තරගවටයට පෙර 12 වන තරගවටය අවසානයේදී  දසුනි හංසිකා  මෙන්ඩිස්   ලකුණු  9.5 ක්  ලබාගෙන  මෙවර  ජාතික  ශූරියවූ  සයුනි  ගිහන්සා ජයවීරට  වඩා  ලකුණු  භාගයක්  ඉදිරියෙන් සිටියාය. ඒ වන විට සයුනි ගිහන්සා ජයවීර ලබා සිටියේ  9ක් පමණි. එහෙත්  අවසන්  තරග  වටයේදී ඇය තරගය ජයගෙන තම ලකුණුවලට තවත්  එක් ලකුණක්  එක්කර ගනිමින්  මුළු ලකුණු  ප්‍රමාණය ලකුණු 10 දක්වා වැඩි  කරගත්තාය.

12 වැනි  තරගවටයේදී වැඩිපුර ලකුණු  භාගයක්  අතැතිව තෙවැනි වරටත්  ජාතික  ශූරියවීමේ  සිහිනය  අභියස සිටි දසුනි හංසිකා මෙන්ඩිස් අවසන් තරග වටය ජයපරාජයෙන් තොරව අවාසනාවන්ත ලෙස නිමකළේ තම ලකුණුවලට  ලකුණු  භාගයක්  පමණක්  එක් කරගනිමිනි. එවිට  ඇයගේ ලකුණු 10 සයුනිගේ  ලකුණු වලට  සමාන විය.

තරගාවලියේදී  තරග වට  13න්  ලකුණු  9ක්  ලබාගත්  කොළඹ විශාකා  විද්‍යාලයේ ජී.පි.වයි. විජේසුරිය තෙවැනි ස්ථානය දීනාගත්තාය. තරගවට  13න්  ලකුණු 8.5ක්  ලබාගත්  කොළඹ විශාකා විද්‍යාලයේම  නික්ලේශා  තරුෂි  සිව් වැනි ස්ථානයත්  තරගවට  13න්  ලකුණු  8ක්  ලබාගත්  එම  විද්‍යාලයේම ටියුමි යශෝරාට  පස්  වැනි  ස්ථානයත්  හිමිකර ගත්තාය.
        

 

කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයන්ගේ කැපවීම මදි – සනත්

තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සමග කළ සාකච්ඡාවේ දෙවැනි කොටස
(පළමු කොටස ඊයේ පත්‍රයේ පළවිය)

ප්‍රශ්නය – මේ වන විට තියෙන බරපතළ ප්‍රශ්නය තමයි අද දවසේ අපි ලබන පරාජයට වඩා හෙට දවසේදී නැත්නම් අනාගතයේදී අපේ ක්‍රිකට් ක්‍රීඩාවට මොකක් වෙයිද කියන එක. අනාගතය වෙනුවෙන් අපට සිටින ක්‍රීඩකයන් මොන වගේද ?
පිළිතුර – අපි ළඟ හැම ජාතියේම ක්‍රීඩකයන් ඉන්නවා. වෙහෙසිලා වැඩ කරන අය ඉන්නවා. උපතින්ම ගෙනෙන අති විශේෂ දක්‍ෂතා තියෙන අයත් ඉන්නවා. සාමාන්‍ය තත්ත්වයේ අයත් ඉන්නවා. හැබැයි මේ කොයි කාට වුණත් දැන් තියෙන ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක ඉදිරියට යන්න නම් තමන් වෙනුවෙන් වෙහෙසෙන්න වෙනවා මයි. දක්‍ෂතාව විතරක් තිබුණාට මදි. එහෙම කරන්න බෑ. ඒක හරි අමාරුයි. මොකද එහෙම මහන්සි වුණොත් විතරයි තමන්ට අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ.

දක්‍ෂතා තියෙන අය ඉන්නවා. ඒත් මම දන්නේ නෑ ඔවුන් කොයි තරම් වෙහෙසෙනවාද කියල නම්.
උදාහරණයකට කියනවා නම් පන්දුවට පහර දෙන්න (විශාල වශයෙන් ලකුණු ලබාගත හැකි) පුළුවන් අයත් ඉන්නවා. පන්දු යවන්න (කඩුලු දවාගැනීමේ හැකියාව ඇති) පුළුවන් අයත් ඉන්නවා. ඒත් මේ ලකුණු ලබාගන්න පුළුවන් අය හරියට පන්දු යවන්නේ නෑ. ඒක කරන්නම ඕන. ඒක එතන (කණ්ඩායම ඇතුළේ) ඉන්න අය බලාගන්න ඕන දෙයක්.

මම හැමදාම කියන දෙයක් තමයි ඔය පළවෙනි පිතිකරුවන් හය දෙනාගෙන් කවුරු හරි දෙන්නෙක් පන්දු යවන්න ඕන කියන එක. හදිසියකට පන්දු යවන්න පුළුවන් වෙන්න ඕන. ඒත් අවාසනාවකට වගේ අපේ මේ දැන් තියෙන පද්ධතියේ එහෙම කෙනෙක් න

ඒක ධනුෂ්ක ගුණතිලකට කරන්න පුළුවන්. ඒත් පුහුණුවීම් වලදී එයා පන්දු යවනවා මදි. ඒක ධනංජයට කරන්න පුලුවන්. කරනවා මදි. මිලින්ද සිරිවර්ධනට කරන්න පුළුවන්. ඒත් කරන්නේ නෑ. මදි. හැමදාම කියනවා පුහුණුවීම් වලදී පන්දු යවන්න කියලා. හැමදාම කියනවා තරග වලදී පන්දු යවන්න කියලා. මේ දක්‍ෂ ක්‍රීඩකයෝ. හොඳින් ලකුණු ලබාගන්න පුළුවන්. හොඳින් පන්දු රකින්න පුළුවන්. ඒත් ඇයි පන්දු යවන්නේ නැත්තේ….? ඇයි පුහුණුවීම් වලදී පැය දෙකක් පන්දු යවන්න බැරි ?

ඒවා මට හදන්න පුළුවන් දේවල් නෙමේ. ඒවා එතන ඉන්න අය බලන්න ඕන දේවල්. එතන ඉන්න අය දැන් කියයි ගිය සතියේ පටන් ගත්තා කියලා. ඒත් මට ඒක මදි.


ප්‍රශ්නය – ඔබ කියනවා එහෙම පුහුණුවීම් කරලා මදි කියලා. ඔබ මේ රටේ තේරීම් කමිටු සභාපතිවරයා. ඉතින් ඔබට ඒ පුහුණුවීම් මදි නම් වෙන කාටවත් ඇතිවෙලා හරියන්නේ නෑනේ…වෙන කවුරු ඇති’යි කියලා කිව්වත් වැඩක් නෑ නේ..ඒ ගැන මොකද කියන්නේ..?
පිළිතුර – ඒක තමයි. දැන් බලන්න කුසල් මෙන්ඩිස්. පා දඟ පන්දු යවන්න පුළුවන් කෙනෙක්. එයා හැමදාම පුහුණුවීම් වලදී පන්දු යවන්න ඕන. ඒකට කොහොමද වෙලාව හදාගන්නේ කියන එක මගේ ප්‍රශ්නයක් නෙමේ. ඒක තම තමන් දැනගන්න ඕන. කවුරුහරි තරගයකට ඉස්සරින්දා ටිකක් පන්දු යවලා තරගයේදී පන්දුව අතට ගත්තට පන්දු යවන්න පුළුවන් වුණත් කඩුලු දවාගන්න බෑ.

හැමෝම කියනවා අපි ක්‍රීඩකයන් 50 ක් 60 ක් විතර මාරු කළා කියලා. ඒත් අපි ගහපු කාලේ අපි මහන්සිවෙලා පුහුණුවීම් වලදී පන්දු යවලා කණ්ඩායම ඇතුළේ අපේ තැන තියාගත්තා.

ලකුණු ගහන්න බැරිවුණ දාට පන්දු යවලා හරි කඩුල්ලක් දෙකක් දවාගත්තා. ඒක මේ දැන් ඉන්න පිතිකරුවන් තේරුම් ගන්න ඕන. මේ පන්දු යවන්න පුළුවන් පිතිකරුවන්ට තියෙනවා අති විශාල වාසියක්. තමන් පන්දු යවලා කඩුල්ලක් දෙකක් ගත්තාම පන්දුවට පහර දෙන විට තියෙන ආත්ම විශ්වාසයත් ඉහළ යනවා. මේ අය ඒ ටික තේරුම්ගන්නේ නැත්තේ ඇයි?

 

 


ප්‍රශ්නය – ඉන්දීය කණ්ඩායමේ රවිචන්ද්‍රන් අශ්වින් කණ්ඩායමට ආවේ පන්දු යවන්නෙක් විදිහට. දැන් අංක 6 පිතිකරුවා වෙලා. ඉන්දීය කණ්ඩායමෙ වර්තමාන පුහුණුකරුවා වන රවී ශාස්ත්‍රි 1985 දී ලංකාවට ආවේ වමතින් දඟ පන්දු යවන්නෙක් විදිහට. එයා තරග දිවිය අවසන් කළේ ආරම්භක පිතිකරුවෙක් වශයෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව සිඞ්නි නුවර ටෙස්ට් තරගයකදී ලකුණු 200 ක් ගහලා. අපට ඒ වගේ ද්විත්ව ක්‍රියාකාරී ක්‍රීඩකයන් නැත්තේ ඇයි ?
පිළිතුර – ඒක ඉතින් ඒ ක්‍රීඩකයාට තියෙන අවශ්‍යතාව. තමන්ට දියුණු වෙන්න තියෙන උවමනාව. මම ඒක තමයි කියන්නේ…අපේ ලකුණු ගහන්න පුළුවන් පිතිකරුවන් දවසකට පැය කීයක් පන්දු යවනවාද කියන එක ගැන මගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන මට විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලන් හිතන් ඉන්නේ අපි හැමදාම තාවකාලික පන්දු යවන්නන් කියල. හැබැයි මමයි, අරවින්දයි, කුමාර් ධර්මසේනයි අසංක ගුරුසිංහයි එහෙම හිතුවනම් අපට 1996 කණ්ඩායම ගෙනියන්න බැරිවෙනවා. මමත් කණ්ඩායම ඇතුළට ආවේ වමතින් දඟ පන්දු යවන්නෙක් විදිහට.

චමින්ද වාස්ට ලකුණු ගන්න පුළුවන්. පිත්තත් අරගෙන මැද්දට ගියාම එයා ලකුණු 50 ක් ගන්නවානේ. ඒත් එයා බෝලෙ අතට ගත්තාම කඩුලු දවාගන්නවා.

මේ තත්ත්වය අපි හදාගන්නම ඕනා. අපට ලොකු දේවල් වෙනස් කරන්න ඕන නෑ. එතකොට නායකයාට ලේසියි. අනෙක් පන්දු යවන්නන්ට ලේසියි. විවේකයක් තියෙනවා. කවුරුහරි හොඳින් පන්දු යවමින් ඉන්නවා නම් ඒ අයව නවත්තන්න ඕන නෑ. මේ තියන සැලැස්ම ඇතුළේම ඒවා හදාගන්න පුළුවන්.


ප්‍රශ්නය  – ඔබේ ප්‍රකාශයෙන් පැහැදිළි වන්නේ ක්‍රීඩකයන් තම තමන් වෙනුවෙන් කැපවෙනවා මදි කියන එක නේද ?
පිළිතුර -  තමන් වෙනුවෙන් කැපවෙනවා ඇති තමන්ගේ එක දෙයක් වෙනුවෙන්. ඒත් කණ්ඩායම වෙනුවෙන් කැපවෙනවා මදි.

හොඳින් ලකුණු ලබාගන්න පුළුවන් අයට පන්දු යවන්නත් පුළුවන් නම්, ඒ පන්දු යැවීමේ හැකියාවත් කණ්ඩායම වෙනුවෙන් කැප කරන්න ඕන. ඒක කරනවා මදි. මෙතැනදි කියන්න පුළුවන් අපට ආබාධ තියෙනවා කියලා. ඒත් ඒවා සාමාන්‍ය දේවල්. ඒවත් තියාගෙන තමන් කණ්ඩායම වෙනුවෙන් කැපවෙන්න ඕන.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හැම දෙයක්ම දීල තියෙනවා. අභා්‍යසකවරුන් ඉන්නවා. පුනරුත්ථාපනයට අය ඉන්නවා. භෞත චිකිත්සකවරු ඉන්නවා. ඒ ඒ අයට විවිධ වැඩ සටහන් දීල තියෙනවා. ඒ දේවල් ප්‍රයෝජනයට අරගෙන තම තමන්ගේ කාර්යය ඒ ගොල්ලන් කරන්න ඕන. තේරීම් කමිටු නිලධාරීන් හැටියට අපට ගිහිල්ලා පැය 24 ම එතන බලා ඉන්න බ

ප්‍රශ්නය – එතකොට 2014 දී ක්‍රීඩා කළ වයස 19 න් පහළ කණ්ඩායමෙයි, 2016 දී ක්‍රීඩා කළ 19 න් පහළ කණ්ඩායමෙයි ඉතාමත් දක්‍ෂ ක්‍රීඩකයන් අපි දුටුවා. ඒ ක්‍රීඩකයන් දැන් කොහේද ?
පිළිතුර – එතන හිටියා චරිත් අසලංක. චරිත් අසලංක කියන්නේ 19 න් පහළ වයස් කාණ්ඩයේ ඒ වෙනකොට හිටපු දක්‍ෂතම ක්‍රීඩකයා. එයා අපේ පද්ධතියේ ඉහළින්ම ඉන්න ක්‍රීඩකයෙක්. එයාට පිට දඟ පන්දු යවන්න පුළුවන්. ලකුණු ගහන්න පුළුවන්. හොඳින් පන්දු රකින්නත් පුළුවන්. ඉතින් අනාගතය වෙනුවෙන් ඒ අයව බලාගන්න ඕන. ඒ වගේම ඒ ක්‍රීඩකයොත් දැනගන්න ඕන මට අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව හරියට ලබාගන්න නම් මම කොහොමද වැඩ කරන්න ඕන කියල.

ඒගොල්ලන් සේරමලා දැන් අපි ශ්‍රී ලංකා සංවර්ධන සංචිතයත් එක්ක එකට දාලා හදාගෙන යනවා. ඒ අය තමයි ඊළඟට මෙතෙන්ට එන්නේ. ඒ අය මේ වන විටත් (ශ්‍රී ලංකා – ඉන්දියා තුන්වැනි ටෙස්ට් තරගය පැවැත්වෙද්දී) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පුහුණුවීම් කරමින් ඉන්නවා. රතු පන්දුවෙන් වගේම සුදු පන්දුවෙනුත් ඒ අය පුහුණුවීම් කරනවා. අපේ  උසස් දස්කම් කළමණාකරු (සයිමන් විල්ස් මහතා) ඒ අයට වෙනම වැඩසටහනක් හදලා දීලා තියෙනවා. ඒගොල්ලන් දිනපතාම පුහුණුවීම් කරනවා.


ප්‍රශ්නය – එතැනින් ජාතික කණ්ඩායමට ඉක්මනින් ගේන්න පුළුවන් අය කවුද ?
පිළිතුර – එතන කීප දෙනෙක්ම ඉන්නවා. ඒත් මෙතැන (ජාතික කණ්ඩායමේ) තියෙන අවශ්‍යතාව බලන්න ඕනේ. මෙතන ළහිරු තිරිමාන්න ඉන්නවා. එයා දැන් ලකුණු අතරට ඇවිල්ලා ඉන්නවා. ඒක ලොකු දෙයක්. එයාව කණ්ඩායමත් එක්ක තියාගෙන යනවා. අනිත් එක්කෙනා තමයි රොෂේන් සිල්වා. එයා ගැනත් අපි බලාගෙන ඉන්නේ. පිතිකරුවන් අතරට එනවා නම් ඒ දෙන්නා තමයි ඉන්නේ.


ප්‍රශ්නය – රංගන හේරත් හා ඩිල්රුවන් පෙරේරා දෙන්නාම වයස 35 ඉක්මවූ අය. දඟ පන්දු යවන්නන් හැටියට ඊළඟට අපට ඉන්නේ කවුද ?
පිළිතුර – ලක්ෂාන් සඳකැන්ගැන අපට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්. මාලින්ද පුෂ්පකුමාරත් ඉන්නවා. මාලින්දට තාම අවුරුදු 30යි. දඟ පන්දු යවන්නෙක් සාමාන්‍යයෙන් හොඳට සෙල්ලම් කරන්නේ එයාලගේ වයස වැඩි වෙනකොටයි. ඩිල්රුවන් ඉන්නවා.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ඉන්නවා වමතින් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය. එයා හොඳ පන්දු යවන්නෙක්. අකිල ධනංජයත් කාලෙකට පස්සෙ ඇවිදින් මේ දවස්වල හොඳින් පන්දු යවනවා. වැන්ඩසේ කොහොමත් අපේ පද්ධතියේ ඉන්නවා. අනිත් එක්කෙනා තරිඳු කෞෂාල්.

මේ අය තමයි අපට ඉන්නේ. මේ අයව අපේ දඟ පන්දු යවන්නන් පුහුණුකරුවාට අපි බාරදීල තියෙනවා. අකිල ධනංජයව අපි එක්දින තරගාවලියට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එයා හෙට අනිද්දා විවාහ වෙන කතාවක් තියෙනවා. ඒ ගැනත් බලන්න ඕන.


ප්‍රශ්නය  – අනාගතයට ඉන්න වේග පන්දු යවන්නන් කවුද ?
පිළිතුර – ධම්මික ප්‍රසාද් එක්කම ශමින්ද එරංගට පන්දු යවන්න බැරි වීමෙන් අපි ලොකු කඩා වැටීමක් කඩාවැටුණා. නුවන් ප්‍රදීප් එක්ක සුරංග ලක්මාල් අපට ගොඩාක් ඇදල දුන්න. ඒත් හැම වෙලාවෙම දෙන්නගෙන් එක්කෙනෙක් කඩාවැටෙනවා. ඒත් ශමින්ද එරංග කියන්නේ එහෙම කඩා වැටෙන කෙනෙක් නෙමේ. දැන් එයාට ආයිමත් සෙල්ලම් කරන්න පුළුවන් වුණත් ඒක හරියනකොටම එයාට ඩෙංගු හැදුණා. තව මාස දෙක තුනකින් ධම්මිකගේ ආබාධ තත්ත්වය සුවවෙන්න පුළුවන්. ශමින්දත් ආවම අපේ වේග පන්දු යැවීම තව හොඳ වෙයි.

ඒත් තරුණ වේග පන්දු යවන්නන්ගේ ඒකකයක් හදල අපි ගොඩාක් දේවල් කළා. ඒ අයව අපි චමින්ද වාස් එක්ක යෙදෙව්වා. එතන හොඳ අය ගොඩක් ඉන්නවා. අපි අද වුණත් ළහිරු ගමගේ වගේ කෙනෙක් ගේන්නේ එතනින්.

ඇත්තම කියනවා නම් අපි අමාරු තැනක ඉන්නේ. මොනව වුණත් නිල් කලිසම ඇඳගෙන පුහුණුවීම් කරද්දි පන්දු යවනවා වගේ නෙමෙයි සුදු ඇඳගෙන මේ හතරේ සීමාවෙන් ඇතුළට ගියාම හිතට දැනෙන හැඟීම. පීඩනය. ඒක හරිම වෙනස්. ඒ නිසා මම හිතනවා අපට ඉදිරියේදී මේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් වෙයි. ඒත් පොඞ්ඩක් කාලය දෙන්න ඕනේ. දැන් බලන්න පළමුවෙනි තරගය සෙල්ලම් කරනකොට වගේ නෙමෙයි දැන් (පල්ලෙකැළේ තරගයේදී) මාලින්ද පුෂ්පකුමාරගේ පොඩි වෙනසක් හරි තියෙනවා. ඒක ඉදිරියේදී තව ටිකක් හරියයි. ඒක එයා හදාගනී කියලා හිතනවා.

මට ඇත්තටම තරුණ වේග පන්දු යවන්නන් ගැන පැහැදීමක් තියෙනවා. එක පාරටම මේ අය තැනට පන්දුව දාන්නේ නැති වෙන්න පුළුවන්. මේ අය සමහර දෙනාට හොඳ වේගයක් තියෙනවා. සමහර අය තැනට දාන අය. මම ඉස්සලේලා කිව්වා වගේ පුහුණු දැළ ඇතුළේ නිල් පාට කලිසම ඇඳන් පන්දු යවනවා වගේ නෙමෙයි සුදු කලිසමයි කමිසෙයි ඇඳලා, පපුවට සිංහයා දාලා, මේ (හතරේ) සීමාව පැන්නට පස්සේ දැනෙන පීඩනය හරිම වෙනස්. ඒ පීඩනය හසුරුවාගන්න පුළුවන් වෙන්න  ඕන.


ප්‍රශ්නය – ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගාවලියේ සැකැස්ම සහ තරගකාරීත්වය ගැන ඔබගේ අදහස මොකක්ද ?
පිළිතුර – මෙච්චර කාලයක් අපි ක්‍රීඩා සමාජ අතරේ තරග තිබ්බා. ඒත් දැන් අපි ඒක වෙනස් කරලා අන්තර් පළාත් තරගාවලියට ඇවිල්ලා තියෙනවා. මා හිතනවා දැන් අපි ඉස්සරහට යන්න ඕන ක්‍රමය ඒක තමයි කියලා. මේක තමයි අපි හැමෝම කතා කරපු දේ. මේක තමයි අපේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් ගොඩක් දෙනෙක් කියපු දේ. මේක දැන් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා අපි මේකට සහයෝගය දෙන්න ඕන.

අපි වයස 23 න් පහළ තරගාවලිය තිබ්බේ පළාත් (කණ්ඩායම්) 10 කින්. ඊට පස්සේ ඒක ගේනවා සුපිරි 4 කියලා තවත් තරගාවලියකට. එතැනදි අපි හොඳම ක්‍රීඩකයන් ටික අරගෙන සංචිතය ක්‍රීඩකයන් 60 කට ගේනවා. අපි ගිය පාර ක්‍රීඩා සමාජ තරගාවලියේ හොඳම කණ්ඩායම් 8 කට ගෙනත් ඊට පස්සේ සුපිරි 4 කියලා තරගාවලියකට ගෙනාව. ඒක තමයි ලංකාවෙ තිබුණ හොඳම පළාත් තරගාවලිය වුණේ. එතන කණ්ඩායම් 4 යි තිබුණේ.

ක්‍රීඩකයන් 60 යි හිටියේ. ඒ හින්දා මම හිතනවා යන තැන හරි. ඒත් පොඩි පොඩි අඩුපාඩුකම් දෙපැත්තේ තියෙන්න පුළුවන්. ඒවා හදාගෙන යමු.

ක්‍රීඩා සමාජ තරගාවලිය ඔහේ ගියාවේ. ඒක අපේ පටන් ගත්ත තැනනේ…ඒකත් නැති නොකර, කිසියම් ස්ථාවර මට්ටමක තියාගත යුතුයි.

කොහොම වුණත් මේක එක පාරටම කරන්න අමාරුයි. මේකට අවුරුදු හතරක් පහක් යයි. ඒත් ඒ වෙනුවෙන් අපි කැප කරපු කාලය ඊට පස්සේ අපට ප්‍රතිඵල ගෙනේවි. එතකොට කියයි අපි කළ දේ හොඳ දෙයක් කියලා. ඒ නිසා මා කියන්නේ අන්තර් පළාත් තරගාවලිය ශ්‍රී ලංකාවේ අංක 1 තරගාවලිය විය යුතු මයි. ඒක සෑම වයස් කාණ්ඩයකම, ඒ කියන්නේ අවුරුදු 15 න් පහළ, 17 න් පහළ, 19 න් පහළ වගේම 23 න් පහළත් අන්තර් පළාත් තරග තිබිය යුතුයි.


ප්‍රශ්නය – එදා ඉඳන් අද වෙනතුරු අපි දැක්ක දේ තමයි වරින් වර පත්වන ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරීන් මේ තරගාවලියේ සැකැස්ම වෙනස් කරනවා. මේ දේශීය තරගාවලියේ සැකැස්ම එක විදිහට තියාගන්න කළ යුත්තේ මොනවාද ?
පිළිතුර – ඒක වෙනස් කරනවා කියන්නේ ලංකාවෙ ක්‍රිකට් කාබාසිනියා කරනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. කවුරු හෝ වේවා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මේ අන්තර් පළාත් තරගාවලිය රැකගත යුතුයි.
මට පරිපාලන ප්‍රශ්න වැඩක් නෑ. මට ඒවා අදාළත් නෑ. ඒත් ක්‍රිකට් ක්‍රීඩාව හරියට යනවානම් මට ඒ ඇති. හැබැයි මේක තිලංග සුමතිපාල පටන්ගත්ත එකක්. මේක වැඩක් නෑ කියලා ඊළඟට එන අය මේක වීසි කරනවා නම් අපේ ක්‍රිකට් ක්‍රීඩාවට කරන ලොකුම විනාශය ඒක තමයි.


සාකච්ඡා කළේ  – දමින්ද විජේසූරිය
 

කාන්තා වොලිබෝල් පිලට ආසියාවේ 13 වැනි තැන

ශ්‍රී ලංකා ජාතික කාන්තා වොලිබෝල් කණ්ඩායම අද  (17 දා) අවසන් වූ 19 වැනි ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් තරගාවලියේ දී 13 වැනි ස්ථානයට පත්ව ඇත.

ආසියානු කලාපයට අයත් රටවල් 14 ක සහභාගිත්වයෙන් මෙම තරගාවලිය පිලිපීනයේ මැනිලා නුවර දී පැවැත්විණි.

මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග පහකට සහභාගී වූ අතර ඉන් මූලික වටයේ දී මුහුණ දුන් තරග තුනෙන්ම (වියට්නාමයට 3-0ල දග කොරියාවට 3-0 සහ නවසීලන්තයට 3-1 වශයෙන්) පරාජය විය.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ දෙවැනි වටයේදී හොං කොං කණ්ඩායම සමඟ පැවති තරගයේදී තරග වට 3-2ක ජයක් ලැබූවේය. ඉන් පසු ශ්‍රී ලංකාව ශ්‍රේණිගත තරගයේදී මාලදිවයින පරාජය කරමින් තරග වට 3-0 ක ජයක් ලබා තරගාවලියේ 13 වැනි ස්ථානය තහවුරු කර ගැනීමට සමත් විය.

ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව 14 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙම තරගාවලියට මුහුණ දීමෙන් පසු එක් ස්ථානයකින් (13) උසස් වීමක් හිමි කර ගැනීමට සමත් වී ඇත.  ශ්‍රී ලංකා කණ්ඩායම දිනේෂා ප්‍රසාදිනී විසින් මෙහෙයවන ලදී.

 

පාපැදි සම්මේලනයේ නිලවරණය කල්යයි

 මේ මස 31 දා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ වාර්ෂික මහ සභා රුස්වීම සහ නිලවරණය දින නියමයක් නැතිව කල් දමා ඇත.

ප්‍රධාන කරුණු දෙකක් මුල් කර ගනිමින් පාපැදි නිලවරණය සහ මහ සභා රුස්වීම කල් දැමූ බව පවසන ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ  ලේකම් ගෲප් කපිතාන් සංජය ලීලාරත්න මහතා, විගනකාධිපතිවරයා විසින් විගණනය කර අනුමත කරන ලද  2016 ගිණුම් වාර්තා මෙතෙක් නොලැබීම සහ ඡන්ද හිමි පාපැදි සමාජ සම්බන්ධව පැන නැගී ඇති විරෝධතා සම්බන්ධව මෙතෙක් තීරණයකට එළඹීමට නොහැකිවීම හේතුවෙන් අදාළ නිලවරණය කල් දැමීමට පියවර ගත් බව පවසයි.

ඒ අනුව ඉකුත් 16 දා අවසන් වූ පාපැදි නාමයෝජනා බාර ගැනීමද අවලංගු කර තිබේ.

අනුමත විගණන වාර්තා සහ ඡන්ද හිමි නාම ලේඛනය ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලැබුණු විගස පාපැදි නිලවරණය පවත්වනු ලබන දිනය තීරණය කෙරෙනු ඇත.

ගජබා සුපර්ක්‍රොස් තරග 27 දා

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය සමග එක්ව 16 වැනි වරටත් සංවිධානය කරන ‘ගජබා සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මේ මස 27 වැනිදා පෙරවරු 9.00 සිට සාලියපුර, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථයේදී පැවැත්වේ. 


සියැට් – ස්ලාඩා ශූරතාවලියේ තෙවැනි තරගාවලිය ලෙස මෙවර ගජබා සුපර් ක්‍රොස් තරගාවලිය පැවැත්වෙන අතර මේ වන විටත් මෙම තරගාවලිය සඳහා මෝටර් රථ රියැදුරෝ 104 ක් සහ යතුරුපැදිකරුවෝ 134 ක් ලියාපදිංචි වී සිටිති. 

දක්ෂතම මෝටර් රථ රියැදුරා තෝරාගනු ලබන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ මෝටර් රථ තරග 2 සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගනු ලබන එම්. එක්ස්. කාණ්ඩයේ යතුරුපැදි තරග 2 ද ඇතුළත්ව ඉසව් 25 කින් මෙවර තරගාවලිය සමන්විත වේ. ඊට මෝටර් රථ තරග 12 ක් සහ යතුරුපැදි තරග 13 ක් ඇතුළත්ය. 

තවද මේ වසරේ අප්‍රේල් මස නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලිය අතරතුරදී අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ ආනන්ද වෙඩිසිංහ මහතා සිහිපත් කිරීම පිණිස, මෙම තරගාවලියේදී සුපර් මෝටාඞ් යතුරුපැදි අංශයේ දක්ෂතම ක්‍රීඩකයා සඳහා ‘ආනන්ද වෙඩිසිංහ අනුස්මරණ කුසලාන’ නමින් කුසලානයක් පිරිනැමීමටද සංවිධායකයෝ සූදානමින් සිටිති. 

ඉකුත් වසරේ පැවැති ගජබා සුපර් ක්‍රොස් තරගාවලියේදී දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස උෂාන් පෙරේරාත්, දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ඉෂාන් දසනායකත් සම්මාන දිනා ගත්හ. 

විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සිංගර් සමාගම කටයුතු කරන අතර ගජබා රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා අරමුදල් රැස්කිරීම මෙම තරගාවලියේ ප්‍රධාන අරමුණයි.


සියැට් සමාගම නියෝජනය කරමින් එහි අලෙවි සහ කළමානාකරණ සහකාර සාමාන්‍යාධිකාරී බ්‍රිෂ්රි ලතීෆ් මහතා, මේජර් ජනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාට
අනුග්‍රහක චෙක්පත ප්‍රදානය කළ අයුරු…. 

(ඡායාරූපය – ජයමාල් චන්ද්‍රසිරි)

ආබාධිතයන්ගේ ලයිස්තුව දිග වැඩියි – සනත්

අන්තර්ජාතික කෙළිබිමේ ශ්‍රී ලංකාවේ සංඛේතය බවට පත්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උදාවී ඇත්තේ මහත් අභාග්‍ය සම්පන්න කාලයකි. මේ වසරේදී මේ දක්වා පැවැති තරගාවලි රැසකදීම ශ්‍රී ලංකා පිලට අත්වූයේ පරාජයයි. 2017 ජනවාරි මාසයේ සිට මේ දක්වා පැවැති ටෙස්ට් තරග 8 කින් තරග 6 ක් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 16 කින් ජයගත්තේ තරග 4 ක් පමණි. මේ අතරවාරයේදී කණ්ඩායමට එක්වූ සහ එයින් හැළීගිය ක්‍රීඩකයෝද රැසකි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධිතයන්ගේ ලයිස්තුව එන්න එන්නම දිගු වෙමින් තිබේ. ජාතික කණ්ඩායමේ හිස්වැස්ම දිනාගන්නා ක්‍රීඩකයන් සංඛ්‍යාවට වඩා ආබාධිත වන ක්‍රීඩකයන් ගණන වැඩිය. (මෙහි පහත දැක්වෙන වගුව බලන්න)

ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දී සිටින වත්මන් අභාග්‍ය සම්පන්න කාලය සහ ඊට හේතු කාරණා සොයා යන ගමනේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති, හිටපු නායක සනත් ජයසූරිය මහතා සමග කළ සාකච්ඡාවකදී මෙතෙක් සැඟවී තිබූ බොහෝ කරුණු කාරණා අනාවරණය කරගත හැකිවිය. ඒවායින් බහුතරයක් ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසය රැකගැනීම සඳහා ක්‍රිකට් නිලධාරීන් විසින් ආරක්‍ෂාකරගනු ලැබ සිටින කාරණාය. ඇත්ත තත්ත්වය එසේ වුවත්, එම ආවරණය තුළම රැඳෙමින් ක්‍රීඩකයන් තමන්ගේ යුතුකම් කොටස ඉටුකිරීමට උත්සුක නොවන්නේ නම්, තමන්ගේ වගකීම වටහා නොගන්නේ නම්, සත්‍ය තත්ත්වය හෙළිදරව් කර හෝ ඔවුන් දිරිමත් කළ යුතුව තිබේ.

එංගලන්ත පිලේ හිටපු වේග පන්දු යවන්නකු වූ ඉයන් බොතම් වරක් අළු බඳුන තරගයකදී මහත් කම්මැලි විලාසයෙන් පන්දු යවමින් සිටියේය. බොතම්ගේ අලස බව දුටු එවකට එංගලන්ත නායකයාව සිටි බොබ් විලිස් “ඒයි ඉයන්, ඔයිට වඩා හොඳට පන්දු යවන්න උඹේ නැන්දම්මාටත් පුළුවන්”  යයි කීවේය. සැණෙකින් සිහි එළවාගත් බොතම් විනාඩි කිහිපයක් ඇතුළත ඕස්ට්‍රේලියානු ඉනිම අවසන් කළේ කඩුලු 6 ක් දවාගනිමිනි.

කණ්ඩායම මුහුණ දී සිටින තත්ත්වයෙන් මුදවාගැනීමට කුමක් හෝ කළ යුතුව තිබේ. ක්‍රීඩකයන්ම මෙම තත්ත්වය වටහා නොගතහොත් නැතිවී යන්නේ ඔවුන්ගේම වෙළෙඳ වටිනාකමයි. එහි හානිය කොතෙක්ද යන්න අන් කිසිවකුට වඩා හොඳින් ක්‍රීඩකයෝම දනිති.

සනත් ජයසූරිය මහතා සමග කළ සාකච්ඡාවේ පළමු කොට මෙසේ දිගහැරෙයි.


ප්‍රශ්නය : පසුගිය කාලයේදී ක්‍රීඩකයන් 60 කට වැඩි පිරිසක් වරින් වර මාරු කරලත් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ අපට අවශ්‍ය කණ්ඩායම හදාගන්න බැරිවුණේ ඇයි ? මොකක්ද ඇත්තටම තිබෙන ප්‍රශ්නය ?

පිළිතුර :
අපේ ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩාක් ආදරේ කරන මිනිස්සු මේ දවස්වන අහන ප්‍රශ්නය  ඕක තමයි. අපේ සමහර පරණ ක්‍රීඩකයන් පවා මේ ගැන කතාකරලා තිබුණා. ඒත් මේ අය හිතුවොත් ඒ අය එතැන ඉන්නවා කියල, අන්න එතකොට ඒ අයට තේරෙයි අපි මේ තරම් ක්‍රීඩකයන් මාරු කරන්නේ ඇයි කියලා. ඒකට හේතුව තමයි විවිධ ආකාරයේ ශාරීරික ආබාධ දිගින් දිගටම ඇතිවීම. මේ ලයිස්තුව එන්න එන්නම දිගු වෙනවා.

එතකොට අහනවා ඇයි මේ ආබාධ ඇතිවෙන්නේ කියල. ඒත් ඒක තේරීම් කමිටුවට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමේ.

පසුගිය කාලයේ අපි වාර්තාවක් සකස් කළා. ඒ වාර්තාවේ තියනවා ඇයි අපි ක්‍රීඩකයන් මාරු කළේ කියලා. අපි කවුරු හරි ක්‍රීඩකයෙක් ගැන ඇහැ තියාගෙන බලා හිටියොත් ඒ ක්‍රීඩකයා මගදි කඩා වැටෙනවා. 2016 ඕස්ට්‍රේලියානු තරගාවලියේ ඉඳන් අද මේ දක්වා ටෙස්ට්, එක්දින සහ විස්සයි:20 තරග වලදී ක්‍රීඩකයන් කී දෙනෙක් ආබාධ වලට ලක්වුණාද කියලා ඒ වාර්තාවේ තියෙනවා. අවාසනාවට මේ වාර්තාව ගැන හුඟක් දෙනෙක් දන්නේ නෑ. ඒත් එක පැත්තක් විතරක් බලලා විවේචනය කරන එක සාධාරණ නෑ.

හැබැයි එකක්. තේරීම් කමිටු නිලධාරීන් වශයෙන් අපේ අතින් වුණත් වැරදි වෙන්න ඇති. අපි වුණත් ක්‍රීඩකයන් හය හත් දෙනෙක් ඉක්මනට ඉක්මනට මාරු කරලා ප්‍රතිඵල ලබාගන්න උත්සාහ කරන්න ඇති. අපි වුණත් බලන්නේ තරගය නැත්නම් තරගාවලිය දිනන්නේ කොහොමද කියලයි. ජයග්‍රහණය සොයා යද්දි අපි අතින් වුණත් වැරදි වෙන්න පුළුවන්. අපි ඒක පිළිගන්න ඕනේ.

මම වුණත්, හිටපු ක්‍රීඩකයෙක් හැටියටත්, හිටපු නායකයෙක් හැටියටත් ක්‍රීඩකයන් දිගින් දිගටම මාරු කරන්න  කැමති නෑ.


ප්‍රශ්නය – මෙතන තියෙන්නේ කවුරු හරිද නැත්නම් කවුරු වැරදිද කියන ප්‍රශ්නය නෙමේ. මොකක්ද වැරැද්ද කියන එකයි. උදාහරණයක් හැටියට පසුගිය කාලයේදී අපට හිටපු වේග පන්දු යවන්නන් හැම කෙනාම වගේ මාසෙන් දෙකෙන් කඩා වැටෙනවා. සමහර අයට තරගාවලියක් එක දිගට ක්‍රීඩා කරන්න බෑ. සමහර අයට එක දිගට ඕවර 8 ක් පන්දු යවන්න බෑ. ඇයි ඒ ?
පිළිතුර :
පසුගිය අවුරුද්දේ තිබුණු ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේ ඉඳන් මේ දක්වා අලුත් ක්‍රීඩකයන් 15 කට ජාතික කණ්ඩායමේ හිස්වැස්ම දෙන්න වෙලා තියෙනවා. ඒත් ක්‍රීඩකයන් 26 ක් විවිධ ආබාධ වලට ලක්වෙලා තියෙනවා. මේ තත්ත්වය ගැන අපි (තේරීම් කමිටු නිලධාරීන්) වුණත් ඉන්නේ හරිම කණගාටුවෙන්.

ඒ එක්කම තවත් සමහර අය තරිඳු කෞෂාල් ගැනයි ජෙෆ්රි වැන්ඩසේ ගැනයි කතා කරලා තිබුණ. ඒත් මේ ගැන හුඟක් දෙනා දන්නේ නෑ. තරිඳු කෞෂාල්ගේ තත්ත්වය ගැන කිසි කෙනෙක් දන්නේ නෑ.

එයා කිව්වා පන්දු යැවීමේ ඉරියව්ව දැන් නිවැරදි කරගෙන තියෙන්නේ. පන්දු යවන්න පුළුවන් කියලා. ඒ නිසා අපි එයාව යැව්වා ඉන්දියාවට පරීක්‍ෂණය කරගෙන එන්න. ඒත් පරීක්‍ෂණය අසමත් වෙලා. දුස්රා පන්දුව යවන්න බෑ. ඊට පස්සේ ලංකාවට ඇවිත් පුහුණුවීම් කළා. තරග වලට සහභාගි වුණා. ඊට පස්සේ කිව්වා එංගලන්තයේ යන්න ඕන කියලා.

මෙයා (තරිඳු කෞෂාල්) වැඩ කළේ පියල් විජේතුංග (දඟ පන්දු යැවීමේ පුහුණුකරු) එක්ක. ඊට පස්සේ එංගලන්තයේ ඉන්දැද්දි මමම එයාට ඊ-මේල් එකක් යවල ලංකාවට ගෙනල්ල පියල් විජේතුංග එක්ක වාඩි කරවලා කතා කළා. එත් පියල් ඒ වෙලාවෙදි කිව්වේ මෙයාට (තරිඳු කෞෂාල්ට) ගොඩක් දේ කරන්න තියෙනවා කියලයි. එයාගේ පන්දු යැවීමේ තාක්‍ෂණික දෝෂයක් තියෙනවා කියලයි. හැබැයි පියල් කිව්වා මෙයා තමයි අපට ඉන්න හොඳම පිට දඟ පන්දු යවන්නා කියලා. පස්සේ අපි එයාව නැවතත් පියල්ටම බාර දුන්නා එයාගේ පන්දු යැවීමේ තාක්‍ෂණයේ තියෙන වරද නිවැරදි කරන්න කියලා. එයා සූදානම් වුණාම කියන්නම් කියලා පියල් කිව්වා.
වැන්ඩසේ මාත් එක්ක කෙළින්ම කතා කළා. එයා කිව්වා මට තවම තරගයක් ක්‍රීඩා කිරීමේ හැකියාව තියෙන්නේ 70% යි. මම ඉතුරු 30% ත් හදාගන්න කම් මට ටිකක් වෙලාව දෙන්න කියලා. බොහෝ වෙලාවට (ඉන්දියාවට එරෙහිව) එක්දින තරගාවලිය ආරම්භ වෙනකොට එයාගේ තත්ත්වය හරියන්න පුළුවන්. ඒත් මේ ක්‍රීඩකයන් ගැන කතාකරන අය මේ ගැන දන්නේ නෑ. මට තියෙන කණගාටුව ඒකයි. අපි ලංකාවට ආදරේ නම් අපේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ නම් ඒ වෙනුවෙන් හොඳ දේ තමයි අපි කරන්නේ.

අනෙක් කාරණය තමයි තරග දිනන කොට කවුරුවත් තේරීම් කමිටුව ගැන කතා කරන්නේ නෑ. එහෙම අය ඉන්නවද කියල දන්නෙත් නෑ. ඒත් පරදිනකොට නම් තේරීම් කමිටුව තමයි වැරදි. මේක ස්වභාවිකයි. ඒකට අපි හුරු වෙලා තියෙන්නේ. ඒකට අපි මුහුණ දෙන්න ඕනේ. ඒක තමයි තේරීම් කමිටුවක් කියන්නේ. ඒකට මූණ දෙන්න බැරිනම් අපි ඒක නොකර ඉන්න ඕනේ.


ප්‍රශ්නය : පසුගිය කාලයේ අපි දැකපු දෙයක් තමයි වේග පන්දු යවන්නන් හොඳින් පන්දු යවමින් සිටියත් ඕවර 5 කින් 6 කින් පස්සේ පන්දු යැවීමේ වාරය නවත්වලා වෙනින් පන්දු යවන්නෙක් ගේනවා. එහෙම කරන්නේ ඇයි කියලා ඇහැව්වාම කියනවා අධික සූර්ය රශ්මියත් දහදිය දැමීමත් නිසා, පුහුණුකරුවන්ගේ උපදෙස් මත ක්‍රීඩකයන් ආරක්‍ෂා කරගන්න එහෙම කරනවා කියලා. ඒ ගන ඔබේ අදහස මොකක්ද ?
පිළිතුර : ඒ වෙලාවේ හැටියට කවුරුහරි හොඳට පන්දු යවමින් ඉන්නවා නම් මම එයාව දිගටම පන්දු යැවීමට යොදවනවා. කඩා වැටෙන්න පුළුවන්. ඒත් අවස්ථාවක් තියෙයි. මට තරගය දිනන්න ඕන. ඒ නිසා මම එයාව දිගටම පන්දු යැවීමට යොදවනවා.

කොහොම වුණත් එක එක නායකයන්ගේ විදිහ වෙනස්. ඒත් මම නායකයා නම් මම කරන්නේ ඒකයි.


ප්‍රශ්නය : පසුගිය කාලයේදී අපි දැක්කේ නෑ අපේ ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් විශාල ඉනිමකට යනවා. මොකද වෙලා තියෙන්නේ ?
පිළිතුර : මෙතන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලන් ඒ (විශාල ඉනිමක් කරා යාමේ) වගකීම බාරගන්න ඕනා. ඒගොල්ලන් හොඳ ආරම්භයක් ගත්තොත් ලොකු ඉනිමක් ගහන්න ඕන. මටත් තියෙන ප්‍රශ්නය පළවෙනි පස්දෙනා තමයි. පළවෙනි පස්දෙනාගෙන් දෙන්නෙක් 100 දෙකක් ගහන්න ඕන. මම හැමදාමත් කියන්නේ ඒකයි. මම මෙතන හිටියත් නැතත්, වෙන්න ඕනෑ දේ ඒකයි. මේ පළමු පිතිකරුවන් පස්දෙනා ලකුණු ලබාගන්නේ නැතිව අපට ටෙස්ට් තරග දිනන්න බෑ.

ඒ නිසා මොන පීඩනය තිබුණත්, මේක තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය. මේ ක්‍රීඩාවේ යථාර්ථය මේකයි. පීඩනයක් නැතිව ක්‍රිකට් ගහන්න බෑ. පීඩනයක් නැතිව කිසිම ක්‍රීඩාවක් කරන්න බෑ. ඒ හින්දා අවශ්‍ය සූදානම තියෙනවා නම් ඒ අයට වෙන ප්‍රශ්නයක් නෑ. ඒ හින්දා තමන් දැනගන්න ඕනා කොහොමද තමන්ගේ ක්‍රීඩාව ඉහළට නංවා ගන්නේ කියලා.


ප්‍රශ්නය – අපේ ඉදිරිපෙළ පිතිකරුවන් පස් හය දෙනාගේ ශක්තිමත් අංශ මොනවාද දුර්වල අංශ මොනවාද කියලා කිසියම් තාක්‍ෂණික අගැයීමක් කරලා තියෙනවාද ?
පිළිතුර – තේරීම් කමිටුව හැටියට ඒක මට අයිති දෙයක් නෙමේ. ඒත් පුහුණුකරුවන් ඒක කරල ඇති.  අපට ඉන්න හොඳම ක්‍රීඩකයන්ගේ පැරණි දස්කම් බලලා, ඒ අය දැන් ඉන්න තත්ත්වයත් බලල තමයි අපි ඒ අයට අවස්ථාව දෙන්නේ. අපේ උත්සාහය පිතිකරුවකුට වැඩිපුර අවස්ථාවක් දෙන්නයි. මොකද එක පාරටම එක ඉනිමෙන් දෙකෙන් විශාල ලකුණු වලට යන්න බෑ.

සමහර වෙලාවට දිමුත් කරුණාරත්න හෝ කුසල් මෙන්ඩිස් අසාර්ථක වෙන්න පුළුවන්. ඒත් අපි එයාලත් එක්ක ඉන්නවා. සමහර විට චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස් නැත්නම් අසේල ගුණරත්නත් අසාර්ථක වෙන්න පුළුවන්. ඒත් අපි එයාලත් එක්ක ඉන්නවා. මේ පළමු හය දෙනා, පළමු හය දෙනා කිව්වේ හත්වැනි පිතිකරුවා අපි එහාට මෙහාට කරනවා පන්දු යවන්නන් එක්ක. ඒ කණ්ඩායමේ සමබරතාව තියාගැනීමට. ඒ නිසා මේ හය දෙනාට පුළුවන් තරම් අවස්ථාව දෙනවා.

**** තරගාවලිය තවමත් අවසන් වී නැත.
තවත් කොටසක් හෙට පත්‍රයේ….

සාකච්ඡා කළේ  – දමින්ද විජේසූරිය